Tuesday, August 14, 2012

හචිකෝ

සෑම වසරකම අප්‍රේල් මස අට වන දින ජපානයේ ටෝකියෝ නුවර ශිබූයා දුම්රිය ස්ථානය අසල සන්සුන් වූත් ගරු ගාම්භීර වූත් උත්සවයක් පැවැත්වෙයි. ජපානයේ සහ ලොව පුරා වෙසෙන සුනඛයන්ට ආදරය කරන පිරිස් එදිනට මෙම උත්සවයට සහභාගි වන අතර ඔවුන් මෙහි රැස් වී තම ස්වාමියා
ට දැක් වූ අසීමිත හිතවත්කමින් මුළු ලොවම විශ්මයට පත් කල හචිකෝ නම් වූ සුනඛයාගේ ගුණ සමරනු ලබයි.

හචිකෝ යනු ජපානයේ උතුරු කදුකර ආශ්‍රිතව වෙසෙන "අකිතා" වර්ගයේ සුනඛයෙකි.පැහැයෙන් රන්වන් දුඹුරු පැහැයක් ගත් හචිකෝ උපත ලැබූවේ 1923 වසරේ නොවැම්බර් මස 10 වන දින ඕඩාතේ ප්‍රදේශයේ ගොවිපලකදීය.හචිකෝට වයස මාස දෙකක් වන විට ටෝකියෝ සරසවියේ කෘෂිකර්මය පිලිබද මහාචාර්‍යවරයෙක් වන හිඩේසබුරෝ උඑනෝගේ සුරතලා බවට ඔහු පත් වුනා.ඒ අනූව හචිකෝ මහාචාර්‍යවරයා සමග මහාචාර්‍යවරයා ජීවත් වූ ටෝකියෝ නුවර ශිබූයා ප්‍රාන්තයට පැමිණීයා.

මහාචාර්‍යවරයා සහ හචිකෝ අතර මහත් වූ බැදීමක් පැවතුනි.මහාචාර්‍යවරයා සේවයට යාම සදහා භාවිතා කලේ දුම්රියයි.සෑම දිනකම උදෑසන මහාචාර්‍යවරයා සේවයට පිටත් වන විට තම ස්වාමියාව ඇරලවීමට හචිකෝ ශිබූයා දුම්රිය ස්ථානයට ඔහුත් සමග ගිය අතර නැවතත් සවස මහාචාර්‍යවරයා සේවය නිම වී පැමිණෙන වෙලාවට දුම්රිය ස්ථානය අසලට පැමිණ ඔහු පැමිණෙන තුරු බලා සිටීමට හචිකෝ පුරුදුව සිටියා.

මහාචාර්‍යවරයාගේ අසල්වාසීන් සහ අනෙක් දුම්රිය මගීන් විශ්මයට පත් කල මොවුන් දෙදෙනාගේ මේ අපූරු දින චර්යාව 1925 වසරේ මැයි මස 21 වන දින බිදී ගියා.එදින සේවය සදහා පිටත් වූ මහාචාර්‍යවරයා යලිත් සුපුරුදු වේලාවට දුම්රිය ස්ථානයට පැමිණියේ නෑ.ඔහු හෘදයාබාදයක් හේතුවෙන් සරසවියේදීම මෙලොව හැර ගොස් තිබුණා.

මේ වන විට හචිකෝගේ වයස මාස දහ අටක් වූ අතර තම ස්වාමියා හෘදයාබාදයක් හේතුවෙන් මියගිය බව හචිකෝ දැන සිටියේ නෑ.හචිකෝ වෙනදා මෙන් එදිනත් තම ස්වාමියා එනතෙක් දුම්රිය ස්ථානය අසලට වී බලා සිටි අතර පසුදිනත් සුපුරුදු වේලාවට දුම්රිය ස්ථානය අසලට පැමිණ බලා සිටියා.මේ ආකාරයට නොකඩවා වසර නමයක් හචිකෝ දිනපතා සුපුරුදු වේලාවටම ශිබූයා දුම්රිය ස්ථානය අසලට පැමින තම ආදරණීය ස්වාමියා බලාපොරොත්තුවෙන් බලා සිටියා. අව්ව,වැස්ස,හිම ආදී කිසිවකට හචිකෝව නවතාලීමට හැකි වුනේ නෑ.

මහාචාර්‍ය වරයා සහ හචිකෝ පිලිබදව කලින් දැන සිටි මගීන් හචිකෝට අනුකම්පා කල නමුත් සමහර අවස්ථා වලදී දුම්රිය ස්ථානයේ සේවකයන් ගෙන් හචිකෝට හිරිහැර වුනු අවස්ථාත් නොතිබුනා නොවේ. 1932 වසරේ ඔක්තෝම්බර් මස 4 වන දින හචිකෝ පිලිබදව පුවත්පතක පල වූ ප්‍රථම ලිපිය පල වුනා.එතැන් පටන් හචිකෝ ජපානය පුරා ප්‍රසිද්ධ වුනා.හචිකෝගේ තම ස්වාමියාට ඇති ලැදි කම ජපානයේ මිනිසුන් අතර ජනප්‍රිය මාතෘකාවක් වූ අතර පාසල් වල ළමුන්ට පවා තම ස්වාමියාට අති මහත් ලැදිකමක් දක්වන හචිකෝ පිලිබදව ඉගැන්වූවා.

වසර නමයක් පුරා දිනපතා එකම වේලාවට ශිබූයා දුම්රිය ස්ථානයට පැමිනි හචිකෝ 1935 මාර්තු 8 වෙනිදා දුම්රිය ස්ථානයට පැමිණියේ නෑ.පසුව විපරම් කර බලන විට හචිකෝගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ශිබූයාහි මාවතක තිබූ සොයා ගැනුනා.වසර නමයක් පුරා තම ස්වාමියා එන තෙක් දුම්රිය ස්ථානය අසලට වී බලා සිටි හචිකෝ අවසානයේ මෙලොවින් සමුගෙන තිබුනා.

හචිකෝ මෙලොවින් සමුගත්තත් හචිකෝ පිලිබද මතකය මිනිසුන්ගේ සිත් වලින් මැකී ගියේ නෑ.මරණින් පසු පුවත්පත් ගණනාවක පල වූ ලිපි වලින් යෝජනා කර තිබුනේ හචිකෝ සිහි වීම සදහා දුම්රිය ස්ථානය අසල හචිකෝගේ පිළිරුවක් තැනිය යුතු බවයි.ඒ අනූව හචිකෝගේ ලෝකඩ පිළිරුවක් ශිබූයා දුම්රිය ස්ථානය අසල පිහිට වූවත් දෙවණ ලෝක යුධ සමයේ එය විනාශ වී ගියා.පසුව නැවතත් 1948 වසරේදී මුල් ප්‍රථිමාව නිර්මාණය කල කලාකරුවාගේ පුත් අන්දෝ ටකෙෂි විසින් හචිකෝගේ ලෝකඩ පිළිරුවක් එම ස්ථානයේම නිර්මාණය කලා.

පසුව කලෙක හචිකෝ ඇසුරින් Hachiko: A Dog's Story නමින් චිත්‍රපටයක් පවා නිර්මාණය වුනා 

ඔබ අදටත් ශිබූයා දුම් රිය ස්ථානයට ගියහොත් යලි කිසිදා නොපැමිණෙන තම ස්වාමියා එනතෙක් බලා සිටින හචිකෝගේ ලෝකඩ පිලිරුව ඔබට දැකගත හැකි වේවි.

Saturday, August 4, 2012

අටවැනි වරටත් දළදා කරඬුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා

පනහ දශකයේ මුල්භාගයේදී මානසික රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රචලිත මෙරට භික්‍ෂුවක් ඉන්දියාවේ මයිසුර් ප‍්‍රාන්තයේ - ”මහරාජා” වරයකුට ප‍්‍රතිකාර කිරීම සඳහා එහි ගියේය. හිමියන් ගේ ප‍්‍රතිකාරවලින් නිට්ටාවට සුවය ලද ”මහරාජා” පුද පඬුරු ලෙස අවශ්‍ය මොනවාදැයි හිමියන්ගෙන් විමසා සිටියේ ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමට සූදානමිනි.
එම ස්වාමීන් වහන්සේ කිසිම මුදලක් ලබාගැනීම
ට ප‍්‍රතික්‍ෂේප කළත් එක ඉල්ලීමක් මහරාජා වෙත ඉදිරිපත් කර සිටියේය. ඒ ඉන්දීය ඇතෙකි. එක් ඇතෙක් වෙනුවට ඇත් පැටවුන් දෙදෙනෙකුම ත්‍යාග ලෙස එම හිමියන්ට ලැබුණේය.
පිළියන්දල - නීලම්මහර විහාරස්ථානයක වැඩ වාසය කළ ඒ හිමියන් සතුව සිටි ඒ එක් ඇත් පැටවකු අද වන විට ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතාය. 2005 වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකා දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ කරඬුව වැඩම කරලීමට වාසනාව ලද මේ හස්ති රාජයා ගම්පහ නැඳුන්ගමුවේ ඇත්රජුය. මෙවර ඇසළ පෙරහැරේ දළදා කරඬුව වැඩම කිරීම ද නැඳුන්ගමුවේ හස්තියාට භාරවී තිබේ.
දැනට පනස් අට වියේ පසුවන නැඳුන්ගමුවේ හස්තියාගේ විශේෂත්වය නම් පෙරහැරකට සහභාගී වීමට කිසිදිනක වාහනයකින් ගමන් නොකිරීමයි. ලංකාවේ පවත්වන ඕනෑම පෙරහැරක් සඳහා හස්තියා යන්නේ පා ගමනිනි. හස්තියාගේ වත්මන් හිමිකරු වන නැඳුන්ගමුව වෙද පරපුරේ වත්මන් නියෝජනය වන වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතා පවසන පරිදි ඇතෙකු වාහනයක රැගෙන යාම එම සතාට කරන බලවත් වූ හිංසාවකි. තට්ටුව සහිත දිග ලොරිවල පටවාගෙන යෑමේදී එම සතා විවිධ දුෂ්කරතාවලට ලක්වෙයි. වාහනයේ ගැස්සීම්, තිරිංග තදකිරීමේදී ඇතිවන පීඩනය එම සත්ත්වයාට දරාගත නොහැක. තමාට ඇති අසීරුතාව පිළිබඳ පැවැසීමට සතාට නොහැකිය. තම දැවැන්ත ශරීරය පාලනය කර ගනිමින් ඉතා අයාසයෙන් යුතුව යන මේ ගමන්වලින් සත්ත්වයා විවිධ ලෙඩ රෝගවලට ලක්වී උගේ පරමායුෂද අඩුවේ.
නුවර දළදා පෙරහැර පමණක් නොව, රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩුදේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරටද සහභාගි වන හස්තියා එහි යන්නේ පා ගමනිනි. ඇත්ගොව්වා සමග පා ගමනින් යන හස්තියාගේ ගමන නිරීක්‍ෂණය කිරීම සඳහා හර්ෂ විජය වෙද රාළහාමිද වාහනයෙන් යයි.
මහනුවර දළදා මාලිගාවේ පෙරහැර පටන් ගැනීමට දින 5කට කලින් ගම්පහ - නැඳුන්ගමුවෙන් පිටත්වන හස්තියාගේ පළමු දින රාතී‍්‍ර නවාතැන වන්නේ පස්යාලයි. දෙවැනි දින රාති‍්‍රය වරකාපොළ, නතරවන හස්තියා තෙවැනි දින කෑගල්ලේ නතර වෙයි. හතරවැනි දිනයේ මාවනැල්ල ප‍්‍රදේශයේ රාති‍්‍රය ගතකරන හස්තියා තම ඇත්ගොව්වාද සමග පස්වැනි දිනයේදී මහනුවරට ළඟාවෙයි. අලූයම පිබිදී පා ගමනින් යන හස්තියා අව් රශිමිය දැඩි දහවල් කාලයේ විවේක ගනියි. නැවතත් හවස් යාමයේ ගමන පටන්ගෙන රාතී‍්‍ර කාලයේ විහාරස්ථානයක නවාතැන් ගනියි.
හර්ෂ විජය මහතාට අනුව අලි ඇතුන් දැඩි අව් රශ්මියේ යාමට අකමැතිය.
ඒ අවස්ථාවේ හස්තියාගේ කටින් කෙළ පෙරෙයි. ඌ යම්කිසි පිඹීදීමක් ද කරයි. වාහනයක දමාගෙන යනවිට ඌට මෙවැනි දේ දැක්වීමට ඉඩකඩක් නැත. විවේක ගැනීමටද අවස්ථාවක් නැතිවීමෙන් විශාල වශයෙන් සත්ත්වයා දුර්වල තත්ත්වයට පත්වේ.
රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැරට සහභාගිවීමට යන්නට හස්තියා දින තුනක් තිස්සේ පා ගමනින් යයි. කැලයක සිටින අලියෙකු වුවද තම ආහාර සපයා ගැනීමට දිනකට කී.මී. 15ක් 20ක් පමණ පයින් ගමන් කරයි. උගේ ජීවන පැවැත්මට එය අනිවාර්යයෙන් අවශ්‍ය අංගයක් බවද පැවැසේ.
ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි.
සම්පූර්ණයෙන්ම ශාක භාක්‍ෂක සතෙකු වන අලියාට පළතුරු දීමට බොහෝ අය උත්සාහ කළත් පළතුරු විශාල ප‍්‍රමාණයක් කෑ විට සතාට දරුණු බඬේ අමාරුව හැදෙන බව හර්ෂ විජය වෙද රාළහාමි කියයි. එම නිසා සත්ත්වයාට ආදරයෙන් පළතුරු නිතර ලබා නොදෙන්නැයි ඔහු හස්තියා බලන්නට එන පිරිස් වලින් ඉල්ලීමක් කරයි.
හර්ෂ විජය වෙද රාළහාමිගේ පියාණන් වන අභාවප‍්‍රාප්ත ධර්ම විජය වෙද රාළහාමි විසින් මෙම හස්තියා මීට කලකට පෙර ලබාගෙන ඇත උදාවන සෑම සිංහල අලූත් අවුරුද්දකදීම නැකතට හස්තියාගේ තෙල් ගැල්වීම එදා සිට අදටත් අඛණ්ඩව කරගෙන යයි. මෙම හස්තියා සමග ඉහත කී හිමි නම මෙරටට ගෙන ආ අනින් හස්තියා කොළඹ ගංගාරාමයේ සිට පසුගියදා මියගිය -නවම් රාජාය.
කවදාවත් මිනිස් ජීවිතයකට හානි නොකළ නැඳුන්ගමුවේ හස්තියා ගේ විශේෂත්වය වන්නේ පෙරහැරට සහභාගිවී සිටියදී මද කිපුණහොත් කිසිදු කලබයක් නොකර පෙරහැරේ ගමන් කිරීමයි. සාමාන්‍යයෙන් මද කිපුන අලියකු පෙරහැර සඳහා සහභාගී කර නොගත්තත්, පෙරහැරේ ගමන් කරන අතරවාරයේදී මද කිපීම සිදුවේ. මේ අවස්ථාවලදී බොහෝ අලි ඇතුන් කලබල කළත් නැඳුන්ගමුවේ ඇතා තම පාඩුවේ පෙරහැරේ ගමන් කරයි.
වෛද්‍ය හර්ෂ විජය මහතා පවසන පරිදි ඇතකුගේ පිට කරඬුව බැඳීම ඉතා අමාරු කාර්යයකි. බඳවටා විවිධාකාරයෙන් පටි තද කිරීමෙන් සතාගේ පෙනහලූ පවා තද වේ. අනතුරුව අවසන් වශයෙන් කරඬුව ගැට ගැසීම නිසා තවත් ඌ පීඩනයට පත්වෙයි. ඒ නිසා පෙරහැරේ ගමන් ගන්නා විට හස්තියාගේ හැසිරීමද එයට බලපානු ලැබේ. නමුත් ”බෞද්ධ ප‍්‍රබෝධය” මගින් ඒ සියල්ල පාලනය වෙයි.
2005 වසරේදී හා හා පුරා කියා දළදා කරඬුව වැඩම කිරීම සඳහා හස්තියාව තෝරාගන ලැබුවේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාය.
එතෙක් සම මට්ටමක උසකින් යුත් හස්තින් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැඳීම ගැටලූවක් වූයේ නැත. නමුත් අඩි එකොළහකටත් වඩා උස නැඳුන්ගමුවේ හස්තියාගේ පිටෙහි කරඬුව ගැට ගැසීම යම් ප‍්‍රශ්නකාරී තත්ත්වයකට පත්වූයේ හස්තියාගේ උස නිසාය.
කරඬුව තැන්පත් කරන මංජුසාවේ නිමාවේ යම් වෙනසක් කරන්නට ද සිදුවූයේ මෙම හස්තියාගේ උස වැඩිකම නිසාය.
නැඳුන්ගමුවේ ඇතාගේ දළ අඩි හතරක් දිගය. ධර්ම විජය මහතා පවසන්නේ තවත් අඩි 2ක් පමණ ශරීරය තුළට දළ ගැබ්ව ඇති බවය. දක්‍ෂ දේශීය වෛද්‍යවරුන් වන ධර්ම විජය හා හර්ෂ විජය වෙද පරපුරේ ප‍්‍රතිකාර නිසාත්, දිනපතා ලැබෙන පෝෂ්‍යදායි ආහාර සත්කාරය නිසාත්, නැඳුන්ගමුවේ හස්තියා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය මැද යහතින් වැජඹෙයි.ඌ මහත් අභිමානයකින් කුංච නාද කළේය. හොඬවැල උඩට එසවිය.
”අටවැනි වතාවටත් දළදා කරඬුව ගෙනියන්නේ මම තමයි” හස්තියා ආඩම්බරයෙන් කියන්නට ඇත්තේ එයයැයි අපට සිතිණි





Wednesday, July 11, 2012

නාස්තිකාර පුතාගේ රාජකිය සපත්තුව

හ්ම් කොහොමද...මට හිතුවා දුක දිනා ජිවිතය ජයගත්තු මිනිසුන් කිහිප දෙනෙක් පිළිබද ලිපි පෙලක් ලියන්න.චන්දුසිරි දොඩම්ගොඩ නම් පුවිණ ලේඛකයා මිට වසර කිහිපයකට පෙර දිවයින ඉරිදා දිවයින සංගරහයේ දුක දිනා ජයගත් හපන්නු නැමැති ලිපි පෙලෙන් ලිපි කිහිපයන් පල කරන්න.

මේක ඒක්තරා අන්දමක අපුරැ කතාවක්. අද මේ කතා කරන්න හදන්නේ ගීගී සපත්තු ගැනැයි.බොහෝ දෙනෙක් හිතන්නේ ගීගී කියන්නේ ඉංගීසි නමක් විදිහටයි.නමුත් ගීගී කියන්නේ සිංහල වචනයක්.

 එක්තරා  දවසක සපත්තු හදන මිනිසෙක් තමන්ගේ භාර්යාවගෙන් මෙහෙම ඇහුවා.
අපි හදන සපත්තු වලට ගිගිරි කියල නම තියමුද?
බිරිද කල්පනා කරා
ගිගිරි කියන නම සපත්තු වලට නමි හරි නෑ.රි යන්න අයින් කරල ගීගී කියල විතරක් ගනිමුද?
අන්න ඒ නම ලස්සනයි.ගිගී කියනකොට අමුතු හඩක් නැගෙනවා.
බිරිද ගිගී නම අනුමත කළා.


GiGi හෙවත් ගිගී සපත්තු සෙරෙප්පුවල නම බිහිවුණේ එහෙමයි.අද වන විට ගිගී සෙරෙප්පු ජර්මනියටත් අපනයනය කරන තරමට දියුනුයි.
නමුත් ගගී සපත්තු බිහිවුනේ ඉතාම නාස්තිකාර පුතෙකුගේ දෑතින් බව කිවහොත් ඔබ පුදුම වෙයි.ඇත්ත කතාව එයයි.

සරත් පද්මලාල් කියන්නේ කොළඔ දෙමටගොඩ ඉපදුනු ලමයෙක්ග තාත්තා පවුල ජිවත් කරේ සිල්ලර කඩේකින්.සරත් පද්මලාල් ඉස්කොල ගියේ දෙමටගොඩ මැතිව් විද්‍යලයට.
උදේ 5.30 ට සිල්ලර කඩේ අරින්නේ සරත් පද්මලාල්.තාත්ත කඩේට එන්නේ හය හමාරට. ඒ පැය ඇතුලත සිදුවන ලෙදාමෙන් ලැබෙන සල්ලි ටික පුතා සාක්කුවේ දාගෙන ඉස්කොලේ යනවා.මේ පුතාට යාලුවො බොහෝමයි. මොකද සාක්කුවේ සල්ලි තියෙනවානේග ඉගෙන ගන්නවාට වඩා පුතා කලේ වියදම් කරන ඒක.සරත් නාස්තිකාර පුතෙක් බවට පත් වුනා.අත දිග ඇරලා වියදම් කරන නිසා ගෙදරට නාස්තිකාර පුතෙක් වුනත් යාලුවන්ට දෙවියෙක්.

සරත් පද්මලාල් ගේ කඩේ පිටිපස්සේ සපත්තු හදන වැඩපලක් තිබ්බා.සපත්තු හදන අඩි විදිහ පටි හදන විදිහ අලවන හැටි ඇන ගහන හැටි මේ ඔක්කොම දේවල් නිරන්තර සපත්තු හදන වැඩ පලේ ගැවසෙන හින්ද සරත්ට පුලුවන් වුනා.

එයා කල්පනා කරා එක පාරටම පොහොසත් වෙන්න.එක පාරටම සපත්තුවැඩපලක අයිතිකාරයෙක් වෙන්න.සරත් යාලුවන්ගෙන් නෑදැයන්ගෙන් සල්ලි එකතු කරල රැ1600.00 හොයා ගත්ත.හරි ගියහම කාගෙත්   සල්ලි ගෙවන්න හිතාන.

රැ1600.00 න් දැම්ම සපත්තු වැඩපලක්. මිනිස්සුන්ට දවස් කුලියට පඩි දිල මැහැව්වා සපත්තු.ඒ සපත්තු පෙට්ටියක දාගෙන ගිහින් කඩ වලට දුන්නා.නමුත් කඩ වලින් සල්ලි ආපහු ලැබුනේ නෑ.හෙට දෙන්නම් අනිද්ද දෙන්නම් කිව්ව විතරයි. සපත්තු වැඩපල පටන්ගත්තු තැනම නැවතුනා.1600 වතුරේ ගියා.මේ සංගෙඩිය වෙනකොට මේ නාස්තිකාර පුතාගේ වයස පහලොවයි.ඉස්කොලෙත් යනවා.

ශාන්ත මැතිව්  විද්‍යලයෙන් ඉවත් වුණු සරත් පද්මලාල් ඊලගට ගියේ කොළඹ ඇලෙන්සැන්ඩා විද්‍යලයට.ලංකාවේ හිටිය හොදම පොසත්තුන්ගේ පුත්තු මේ දවස්වල මෙහි ඉගෙන ගන්නවා.සරත් වැටුනා මේ ගැන්සියට.සල්ලිකාර පුත්තු අතරේ සරතුත් අත පය දිග ඇරලා වියදම් කරා.තාත්තාගේ කඩේ ආදායම ඔක්කොම ගියේ පුතා අතට.

සරත් ඉලගට ගියේ කාර්මික විද්‍යලයට. කාර්මික පාඨමාලාවක් හදාරන්න. ඔහු ශිෂ්‍ය සංගමයේ සභාපති වුනා.ඔහු ස්ටුයික් එකක් මෙහෙයෙව්වා.සභාපති සරත් කාර්මික විද්‍යලායන් දොටිට විසි වුනා.

සරත් පද්මලාල් දැන් නිකම්ම නිකන් තරැණයෙක්. රස්සාවකුත් නෑ.සල්ලිත් නෑ. ඉගෙනිමකුත් නෑ.වයස 17යි.නාස්තිකාර පුතා දැන් හිස් අතින් බලන් ඉන්නා.පාසලේ සල්ලිකාර ගැන්සියේ යාලුවන්ට තාත්තලාගේ දැවැන්ත ව්‍යපාර වල අධ්‍යක්ෂකම් ලැබුනා.සරත් පද්මලාල් ට මොකුත් නෑ.

ආයෙත් ගිහින් ඉගෙන  ගනින්.....
තාත්තා කිව්වා..තරැනයා ආයේ ඉගෙන ගන්න ගියේ නෑ.

මම තනියෙම ජිවිතය පටන් ගන්නවා.සපත්තු සෙරෙප්පු වලින්ම.ඔහු එහෙම තින්දු කළා..


17 හැවරිදි සරත් පද්මලාල් දවසට රැපියල් පහේ පඩියට සපත්තු වැඩපලක වැඩ පටන් ගත්තා.ඒක හරිම දුෂ්කර ජිවිතයක්.අතට පයට හයට හතරට අතට සල්ලි වියදම් කරපු තරැණයා දැන් සිගරටි එකක්වත් බොන්නේ නෑ.මුන පුරාම රැවුල වැවිල.


අනුන්ගේ වැඩ පලක සරත් කුලියට සපත්තු හදමින් සිටිද්දි ඔහු සමග ඉගෙන ගත් ගැහැනු ලමයෙකු විවාපත් වි සපත්තු මුදලාලි දකින්නට මේ නිවසට පැමිනියාය.සරත් ලැජ්ජානේ ඉහ වහ ගියේය.තවත් දවසක සරත් සපත්තු හදමින් සිටිනු ඔහුගේ පාසල් වියේ ධනවත් සගයෙකු දුටුවායග
ඇයි උබ ඔහොම දුක් විදින්නේ වරෙන් මම රස්සාවක් දෙන්නම් කිවාය.එහෙත් ඔහු එයට නොගියාය.

ඔහු අතිරේක වියදම් කපා හැර දවසට ලැබෙන රැ 5.00 පඩියෙන් වැඩි කොටසක් ඉතුරැ කරාය.අන්තිමේට ඔහු රැ500.00 ඉතුරැ කරාය.

සරත් තමන්ගේ අතේ තිබුණු ඔරලොසුව රැ100.00 කට වික්කා.ඉතිරි කරගත් රැ500.00 මේ 100.00 යි ඔක්කොම 600.00යි.

මම මගේ කියල සපත්තු වැඩ පලක් පටන් ගන්නවා 
සරත් දෙවෙනි වතාටත් රැ600.00 කින්වැඩපලක් පටන් අයිතිකරැ හා බඩු හදන්නා දෙදෙනාම ඔහුයි.නිවසේ පිටිපස්සේ ඉබිම එලාගත් හම් කඩයක වාඩි වු 19 හැවරදි තරැණයා බැලු වෙලාවක් ඇත්නමි මිටියයි අඩුයි ගම් බොතලයයි කතුරයි තියාන සෙරෙප්පු හදවා.
ඔහුගේ යාලුවෝ වැඩ ඇරි ඇවිත් කා බී රෙඩියෝ අසා නින්දට යද්දිත් සරත් වැඩ.යාලුවන් උදේ නැගිටි මුහුණ සොදන විටත් ඔහු වැඩ.
උබ නිදාගන්නේම නැද්ද. 
මිතුරන් ඇසුවේ විහිලුවට නොව ඇත්තටමය.

ඔහු හැදු සපත්තු කඩ වලට අරන් ගියේ පෙට්ටියක දාගෙන බස් එකේ. සපත්තු කඩ අයිතිකාරයෝ මේ තරැණයා කඩේ ඇතුලට ගත්තේ කඩේ වහන්න කිටිටුව.
ඔහු පැය ගනන් කඩේ ඉස්සරහ සපත්තු පෙට්ටිය තියාගෙන බලන් ඉන්නවා.ඔහු ඉතිරි කිරිම වගේම ඉවසිම ඉගෙන ගත්තා.දිනෙන් දින සපත්තු කඩ කාරයෝ ඔහුගෙන් ගන්නා සපත්තු පුමාණය වැඩි කරා. ඒ සමගම සරත් සමග වැඩ කරනා මිනිසුන් ගණන වැඩි කරා.
ඊලගට මොටර් සයිකලයක් ගත්තා.ලංකාවේ පුධාන පේලේ සම් භාණ්ඩ ආයතනයකට පූධාන සැපයුම් කරැවා වුනා.නමුත් ඔහු දිව්වේ හෙමින්.
දැන් සපත්තු වැඩපල පොඩියිගඔහු පැලියගොඩින් ඉඩමක් අරන් බැංකු ණයක් අරං හැදුවා ලොකු වැඩපලක්


මේ අතරේ මනාලියකට පාවහන් හදන්න මනාලියත් ඇගේ යෙහෙලියත් සරත් මුන ගැහෙන්න අවා.යෙහෙලිය ගුරැවරියක්. ගම උඩ රට පැත්තේ සරත් අර යෙහෙලියව කසාද බැන්දා.

දැන් සපත්තු වලට නමක් දාන්න ඔන

අපි ගිගිරි කියල දාමුද
සරත් බිරිදගෙන් ඇහැව්වා
බිරිද කල්පනා කරා
ගිගිරි කියන නම සපත්තු වලට නමි හරි නෑ.රි යන්න අයින් කරල ගීගී කියල විතරක් ගනිමුද?

ගීගී 

ඒ නම ලස්සනයි.දිවටත් ලේසියි ගිගී නම බිහිවුනේ එහෙමයි........................................

Sunday, July 1, 2012

නන්දා මාලනිය.......




බෞද්ධ කොඩියට වසර එකසිය විසිපහක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙල පැවැත්වූයේ කොටහේන දීපදුත්තාරාමයේදීය.
අගමැතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති බවය. එනමුත් බොදු ගීතයට පෙර ඈ සිය ජීවන ගීතය මෙසේ ගැයුවාය.
කොටහේනේ හැට දෙකේ වත්ත මගේ ගම. උප්පත්තියෙන්ම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක්. පුංචි කා‍ලේ අපට කන්න අඳින්න නැති වුණාම දීපදුත්තමාරාමයේ නායක හාමුදුරුවෝ අපට උදව් කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

මේ කතාව අසාගෙන් හුන් අගමැතිවරයා කම්මු‍ලේ අත තියා ගත්තේය. සම්භාවනීය අමුත්තෝ මුව නොපියා නන්දා මාලිනිය දෙස බැලුවේ විශ්මයෙනි. ගී ලොව මිණි කිරුළ දරා සිටින ඈ මුඩුක්කුවක උපත ලැබුවායි අසන්නට ලැබිම ඔවුන් විශ්මයට පත් කැරන්නට ඇත. හැරත් ඒ කතාව නොබියව කීමට තරම් නන්දා මාලිනියට මේ සා ආත්ම ශක්තියක් නිහතමානීකමත් ලැබුණේ කොහොමදැයි අමුත්තෝ කල්පනා කරන්නට ඇත.

අපේ කල්පනාවේ හැටියට නන්දා මාලිනියගේ මධුර ස්වරයෙන් ගයන ගී අසා තිබුණද ඇගේ ජීවන ගීතය ඔබ නොඅසන්නට ඇත. මේ කතාව හරියට හින්දි චිත්‍රපටයක් මෙනි. එනමුත් අපේ වීරවරියගේ කතාවේ සත්‍ය පිටපතයි මේ.

මිරිහාන ආරචිචිගේ නන්දා මාලිනි පෙරේරා මෙලොව එළිය දුටුවේ රිදී හැන්ද මුව දරාගෙන නොවේ. එක්දහස් නවසිය හතළිස් තුනේ අගෝස්තු විසිතුන් වැනිදා ඈ උපන්නේ අන්ත දරිද්‍රතාවකින් පෙළුණු පවුලකය.

නව දෙනකුගෙන් යුත් පවුලක ඈ සිව්වැනි දරුවා වූවාය. නන්දාගේ මව ලියනගේ එමලින්ය. පියා වින්සන්ට් පෙරේරාය. ඔහු සන්නාලියෙකි. පනහ දශකයේ ලංකාවේ සුප්‍රකට නිමි ඇඳුම් කම්හලක් වූ හයිඩ්‍රමනි සමාගමේ ඔහු රැකියාව කළේය. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා ගැනීමට වින්සන්ට් පෙරේරා ගෙදරද ඇඳුම් මසා කොටහේනේ වතුවල හුන් අයට වික්කේය. මේ නයින් ඔහු 'කොටහේනේ කෝට් බාසුන්නැහේ' ලෙස ප්‍රසිද්ධියට පත්වූයේය.

ඒ කා‍ලේ තාත්තා මහන ඇඳුම් වත්තේ ගෙවල් ගානේ ගිහින් විකුණුවේ මම. මේ ඇඳුමේ බකල් හයියයි. බොත්තම් හොඳයි. ලස්සනට මහලා තියනවා කියලා කියමින් මම ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරතියාගෙන යන මාව ඒ කා‍ලේ ගමේ ගෙවල් ඇතුළටවත් ගත්තේ නෑ. දොරකඩ ළඟ ඉන්න කියලා හෙට්ටු කර කර බොහෝ අඩු මුදලකට ඇඳුම් ඉල්ලනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගණනටම ඇඳුම් දෙන්න සිද්ධ වුණා. ඒ මුදලත් මට ලැබුණේ එක සැරේ නෙවේ. මම දෙතුන් වතාවක් ගිහින් පින්සෙණ්ඩු වුණාමයි සල්ලි ලැබුණේ. එදා මට එහෙම මදිපුංචිකම් කරපු අය අද මම දැක්කාම කටපුරා හිනාවෙලා ගේ ඇතුළට එන්න කියලා දොරවල් ඇරගෙන බලා ඉන්නවා. මට ඒ ගැන තරහක් හෝ කම්පාවක් නෑ. ජීවිතේ කියන්නේ දුක සැප දෙකටමයි. මම දැන් ප්‍රසිද්ධ නිසා මේ අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි නන්දා මාලිනීමයි නිහතමානීකමෙන් කිරුළු පළන් සිටින මේ මහා ගායිකාව කියන්නේ තනතුරු තිබුණද නැතිවුණද ජීවත් වීමේ කලාව උපේක්ෂා පාරමිතාව පිරීම බව පසක් කැරමිනි.

කුකුළු කොටුවක් මෙන් ඉඩ නැති නන්දා මාලිනිලාගේ ගේපැ‍ලේ තිබුණේ එක කාමරයකි. ආලින්දය, සාලය, කුස්සිය යන මේ කියන කෝකටත් තිබුණේ එක බිමකි. ගෙදර තිබූ එකම ඇඳ වෙන්කැර තිබුණේ දහඩිය කඳුළු වගුරා දරුවන් උස් මහත් කිරීමට මහන මැෂිම පාගා ගෙදරට එන තාත්තා වෙනුවෙනි. නන්දා පැදුර රැගෙන නිදන්නට යන්නේ සාලයේ මේසය යටටය. ඒ හැංගි මුත්තන් සෙල්ලම් කිරීමට නොවේ. මේසය යටට නොගියොත් නිදා ගැනීමට ඒ නිවසේ වෙන ඉඩක් නැති නිසාය.
පුංචි කාලයේ සිටම නන්දා මාලිනිට තාත්තා ගැන තිබුණේ මහා භක්තියකි. ඒ ගෙදර බුදුන් වූයේ තාත්තාය. බුදුන් හැර නන්දා මාලිනිය වන්දනාමාන කැරෙන තවත් චරිතයක් මෙලොව වෙතොත් ඒ ඇගේ තාත්තාය. නන්දා මාලනියට සංගීතය කියා දුන් බොහෝ ගුරුවරු හුන්නද ඈට ජීවිතයේ රිද්මය කියා දුන් මහා ගාන්ධර්වයා තාත්තාය.

'මගේ පරමාදර්ශය තාත්තා අප ජීවත් කරවන්න ඔහු ගත් උත්සාහය කිසි දෙයකට සම කරන්න බෑ. ඔහු පුදුමාකාර ධෛර්යවන්ත මනුෂ්‍යයෙක්. ඒ කා‍ලේ තාත්තාට ලැබුණේ සතියේ පඩිය. ඔහු ඒ මුදල අතට ගත්තාම මුළු සතියම ජීවත් වෙන්නේ කොහොමද කියලා සැලසුම් කර අරපරිස්සමට වියදම් කරනවා. මට මේ සා දුර ගමනක් ඒමේදී තාත්තාගේ දිවියෙන් ලැබුණු පාඩම් අනන්තයි. අප්‍රමාණයි' ඈ කියන්නීය.

තාත්තා දුක්මහන්සියෙන් හම්බ කැර ගත් කාසි පනම් බොහෝ අරපරිස්සමෙන් වියදම් කිරීමට නන්දා මාලිනී වගබලා ගත්තාය. එකල ගෙදරට අවැසි හාල් තුනපහේ, එළවළු, කරවල ගෙනෙන්නේ තොටළඟ ‍පොළෙනි. පැටි වයසේ හුන් ඈ මව හෝ වැඩිමහලු සොයුරියක සමග ‍පොළට යන්නීය. කොටහේනේ අතුරු පාරවල්, වැටකඩුලු අතරින් ඇති කෙටි පාරකින් ඈ යන්නේ පාද යාත්‍රාවෙනි. ලාබෙට තිබෙන එළවළු දෙක තුනක් මල්ලට දමා ගන්නා ඕ ගෙදර යන ගමන් ග්‍රෑන්ඩ්පාස් මහ වගුරේ (වර්තමාන සුගතදාස ක්‍රීඩාංගණය පිහිටි බිම) හොඳට වැවී තිබෙන පළා නෙලන්නීය.

පෙරේරා පවු‍ලේ සියලු සාමාජිකයන්ගේ බඩට කෑමක් වැටෙන්නේ රාත්‍රී වේ‍ලේදීය. අම්මා කෑම පිස අහවර වූ විට බෙදීමේ වැඩේ පැවරෙන්නේ ලොකු අක්කාටය. පිඟන් ටික එකට තබා ඕ සම සේ බත් හා වෑංජන බෙදන්නීය. බඩ පිරුණත් නැතත් ලැබුණු බත් හැන්ද සියල්ලෝම කා සැණහුනේ වැඩිපුර ඉල්ලුවාට දෙන්නට මුට්ටියේ දංකුඩවත් නැති බව දන්නා නිසාය.
අපි සරල ජීවිතයකට හුරු හුනේ නැතිබැරිකම නිසා. කෑවේ එක වේලයි. අඳින්න මහ ලොකු ඇඳුම් ගොඩක් තිබුණේ නෑ. හැබැයි තියන ඇඳුම පිරිසිදුවට මැදලා පිළිවෙළකට ඇන්දා. අද වුණත් මට මහ ලොකු ඇඳුම් තොගයක් නෑ. මගේ ජීවිතය හරිම චාම් සරලයි. ඈ කීවාය.
පන්සලට ගියද, මළ ගමට ගියද, රජ ගෙදරට ගියද, සිනමා සම්මාන රාත්‍රියකට ගියද ඈ අඳින්නේ ශ්වේත වර්ණ සාරියයි. නන්දා මාලිනිය ශ්වේත වර්ණයෙන් පමණක් සැරසීමට පටන්ගෙන දැන් තිස් අවුරුද්දක් ගෙවිලාය. කොටහේනේ මුඩුක්කුවේ හුන් අසල්වැසියාටද මහේශාඛ්‍ය රජ මැදුරේ හුන් ජනාධිපතිවරයාටද දක්වන සැලකිල්‍ලේ උස් මිටිකම් ඈට නැත. තරාතිරම කුමක් වුවද කොයි කාටත් ඇගේ නිරහංකාර සිනාව කොයි කාටත් සමානය. ලක්ෂ ගණන් වටිනා සාරිද රන් රිදී මුතු මැණික් පිරුණු අභරින් සැරසුණු ගායිකාවන් නානා විදි කොණ්ඩා මෝස්තරවලින් සැරසෙන විට නන්දා මාලිනිය කොහේ ගියද යන්නේ කොණ්ඩය තනි කරලට ගොතා ගෙනය. ඈ කොණ්ඩයට මෝස්තරයක් දමා ඇත්තේ නම් ඒ විවාහ වූ දිනයේ පමණි.

මධුර මනෝහර සිය ස්වරයෙන් මුළු රටක් මෝහනයට පත් කළ ඇය මේ සා නිහතමානී වූයේ කෙසේද?
'මම කවදාවත් මුල අමතක කළේ නෑ. අමතක කරන්නෙත් නෑ. දුප්පත්කම මම මගේ ගමනට ආශිර්වාදයක් කර ගත්තා මිසක් ලැජ්ජාවට පත්වන කාරණාවක් ලෙස හිතුවේ නෑ ඈ කියන්නීය.

නන්දා මාලිනි අකුරු කරන්නට ගියේ ගෙදර පෙනෙන තෙක් මානයේ පිහිටි කොටහේනේ ගුණානන්ද විදුහලටය. ඒ පාසල නම් කැර ඇත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමටය. උන්වහන්සේ එකල වැඩ හුන්නේ කොටහේනේ දීපදුත්තමාරාමයේය. බෞද්ධ කොඩිය මුල් වරට එයැවුණේද ඒ බිමේය. ගුණානන්ද විදුහ‍ලේ ඉගෙන ගත් නන්දා සපත්තු නොපැළඳුවාය. දරුවන්ට සපත්තු ජෝඩුවක් මිලදී ගන්නට කෝට් බාසුන්නැහේට කාසි නැතිය. ඒ බව දන්නා ඈ තාත්තාගෙන් කවදාවත් සල්ලි නොඉල්ලුවාය. නානා මාදිලියේ වළලු, මාල, අරුංගල් විකුණන්නට වත්තට එන වෙළෙඳුන් දෙස ඈ නොබැලුවාය. අයිස්පලම්, කඩචෝරු, බූන්දි ගැන නොසිතුවාය. 'තාත්තාට කාසි තිබෙනවා නම් අපට අරන් දෙනවනේ' යැයි ඕ කල්පනා කළාය. සල්ලි නැතිනම් කෝට් බාසුන්නැහේ දරුවන්ට ඒ බව කියයි. එසේ නොමැතිව ඒවා කන්න හොඳ නෑ යනුවෙන් බේගල් නොකියයි. තාත්තාගේ මේ ක්‍රියාවෙන් ඈ ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තා. ඒ ඇත්ත ඇති සැටියෙන් කීමටය.

නාන්දා මාලිනී පාසල් යන විට මිරිවැඩි සඟල ලෙස දැම්මේ 'කට්ට සෙරෙප්පු' ජෝඩුවකි. ලීයෙන් නිම කැර ඇති මේ සෙරෙප්පු විවිධ වර්ණයෙන් පාට කැර තිබේ. මිල සත තිහකි. 'කට්ටා සෙරෙප්පු' දමා ඇවිදින විට දුර තියාම ඈ එන විට 'ටකස් ටකස්' ශබ්දය ඇසේ. මේ නයින් පාසල් ළමෝ නන්දාට 'කට්ටයා' යනුවෙන් නම් පට බැන්දහ. ඈ ඒ ගැන කම්පා නොවූවාය.

මෙකල 'කට්ටයාගේ' කටහඬ පිළිබඳ මාග්‍රර්ට් පෙරේරා පන්ති භාර ගුරුතුමිය අවධානයෙන් හුන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්වෙන සමිතියේ ගී කවි කියන නන්දා මාලිනී 'හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන' බව පසක් කළාය.

හය වැනි පන්තියේ අකුරු කරන නන්දා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන බව අවබෝධ කැර ගෙන හුන් මාග්‍රර්ට් පෙරේරා ගුරුතුමිය ඈ කැටුව රේඩියෝ සිලෝන් හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) සරස්වතී මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන මෙහෙය වූවෝ කරුණාරත්න අබේසේකර හා සරත් විමලවීරය. බොහෝ කාලයක් යනතුරු නන්දාට සිද්ධ වූයේ අනුන් කියන ගීවලට අත්වැල් දෙන්නටය. එනමුත් ඕ ඒ ගැන කල්පනා නොකළාය. 'මම කොහොම හරි තනියම සිංදුවක් කියනවා' ඈ අදිටන් කැර ගත්තාය. නන්දා මුලින්ම ගැයූ ගීතය ලීවේ අශෝක කොළඹගේය. සංගීතය ඩී.ඩී. ඩැනීගෙනි. 'බුදු සාධු බුදු සාධු මම සඳුන් ගසක් වෙන්නම්. සමන් වැළක් වෙන්නම්.....'.

නන්දාගේ මිහිරි කටහඬ වෑයර්ලසයෙන් මුළු රටටම ඇසුණි. ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැණික මැණිකමය. එහි වටිනාකමේ අඩුවක් නැත්තේය.
මෙකල රේඩියෝ සිලෝනි හි 'සුපර් ස්ටාර්' ගීත තරගයක් තිබුණි. එය නම් කැර තිබුණේ 'එයාර් ශිප් ගීත තරගය' යනුවෙනි. ජයග්‍රාහකයාට ලැබෙන්නේ බොම්බායට යාමට ගුවන් ප්‍රවේශපත්‍රයකි. ආරියසේන මිල්ලවිතානාචිචි නිෂ්පාදනය කළ එයාර් ශිප් ගීත තරගයේ නිවේදකයා ‍ප්‍රොස්පර් ප්‍රනාන්දුය. මේ තරගයේ 'සුපර් ස්ටාර්' වූයේ නන්දා මාලිනීය. දෙවැනියා වික්ටර් රත්නායකය. බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍රය ලැබුණු විට නන්දා කල්පනා කළේ නිකරුණේ රට යනවාට වඩා ඒ මුදලෙන් ගෙදරට යමක් කැර ගන්නට මගක් ගැනය. ඈ පියා සමග ගුවන් ප්‍රවේශ පත්‍ර සමාගමට ගියාය. එහි හුන් ලොකු මහත්තයකු හමු වී නන්දා මෙසේ කීවාය.

'සර් අපි හරිම දුප්පත්. ඉන්දියාවට ගිහින් අපට තේරුමක් නෑ. මේ ටිකට් එකේ සල්ලි දෙනවා නම් අපට හරිම වටිනවා'

මේ ‍පොඩි කෙල්ලගේ ආයාචනය ඇසූ ඔවුන්ගේ හද උණුවිය. ඔවුහු ඈට ප්‍රවේශ පත්‍රයේ මුදල දුන්හ. සල්ලි ලැබුණු ඈට රටක් රාජ්‍යයක් දිනුවාක් මෙන් සතුටක් දැනුණි. ඒ සමග කලක් හිතේ තියාගෙන තිබූ කාරණාවක් මතක් විය.

'තාත්තේ අපි බොමු රස සරුවත් දෙකක්' නන්දා කීවාය.

ඈ ඊළඟට කල්පනා කළේ මේ මුදලින් කැරෙන දේ ගැනය. 'තාත්තා ‍පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙන් ඇඳුම් මදින්නේ පුදුමාකාර දුකක් විඳලා. මම තාත්තාට විදුලි ඉස්තිරික්කයක් අරන් දෙනවා' නන්දා තාත්තාට කීවාය.

'විදුලි ඉස්තිරික්ක ගහන්න ගෙදර ලයිට් තියනවාද ළමයෝ' තාත්තා ඇසුවේ ඇගේ හිස පිරිමදිමිනි. 'එහෙනම් අපි ලයිටුත් ගනිමු' ඈ යෝජනා කළාය. අතට ලැබුණු මුදලින් ගෙදරට විදුලියත් විදුලි ඉස්තිරික්කයත් ගත් නන්දා ඉතිරි වූ මුදලද වෙන් කළේ තාත්තාට උණු වතුර බෝතලයක් මිලදී ගන්නටය.

'රෑ වෙනකම් තාත්තා ඇඳුම් මහන නිසා තේකක් හදලා දාලා තියන්න පුළුවන්' ඕ මවට කීවාය.

නන්දා මාලිනිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සිද්ධ වූයේ එක්දහස් නවසිය හැට දෙකේදීය. ඒ 'රන්මුතු දූව' චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසාය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නන්දා මාලිනීව තෝරා ගත්තේය. 'ගලන ගඟකි ජීවිතේ' ගීතය කීමට නන්දා මයික්‍රෆෝනය ළඟටවත් උස නැති නිසා සංගීතය පටිගත කළ මර්වින් රුද්‍රගෝ ඈට ලී පෙට්ටියක් ගෙනැවිත් දුන්නේය. පෙට්ටිය උඩ නැග කියූ ගීතයට ඈට සරසවි සම්මාන උළෙ‍ලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට ඈට සම්මාන ලැබුණේ ගඟ ගලන්නාක් මෙනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසිම් ගණන් පමණක් නොවැ ගත වූ සිව් අවුරුද්දේම පිටපිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාව ඇයයි.
බලයට පත් වූ රාජ්‍ය නායකයෝ තමන්ට නැති වංශයක් මවා පාන්නට ඉතිහාසය අලුතෙන් ලියන රටක මුඩුක්කුවක උපන් නන්දා මාලිනිය මේ කියන කතාව බොහෝ දෙනාගේ ඇස් ඇරෙනු ඇත.

'මනුෂ්‍යයකු පීඩාවට පත් කිරීම හේතුවෙන් ලබන වේදනාව පුංචි කා‍ලේ මම හොඳට ලැබුවා. මම ජීවිතේ පන්නරය ලැබුණේ දුප්පත්කමින්. අතීතය අමතක කරන කිසිම කෙනෙකුට අනාගතයක් නෑ. අපි වැරදි වැඩ කරන්නේ නැතිනම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ. කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආ ගමන ගැන කල්පනා කරන කොට දැනෙන්නේ ලොකු සතුටක්. මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණේ උත්සාහය හා කැප කිරීම නිසා. මගේ තාත්තාගෙන් ලැබුණු නිවැරදි මගපෙන්වීම නිසයි.

අද සල්ලි තිබුණා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ. මම මගේ දුවලා දෙන්නා පාසල් යැව්වෙත් පයින්. ගෙදර වාහන තිබුණත් අපි ළමයි හැදිය යුත්තේ ‍පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන විදියට.

මම ඉපදුණේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක් කියන එක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් නොවේ' නන්දා මාලිනී කියන්නීය.

මීට සති කීපයකට ඉහතදී ඈ පන්නල මාස් ඇඟලුම් කම්හ‍ලේ උත්සවයකට ගියේ ප්‍රධාන අමුත්තිය ලෙසය. ගීතයෙන් තරුණ සිත් සුවපත් කළ මේ මහා ගායිකාව ගැන සිත පැහැදුණු තරුණියෝ ඇගේ කටහඬ ඇසීමට මහත් සේ ප්‍රිය කළෝය.
නන්දා මාලිනිය සිය ජීවන ගීතය ගැයුවාය. 'ගාමන්ට් එකක වැඩ කරන එක ලැජ්ජාවකට කාරණාවක් නොවේ දුවේ. මගේ තාත්තත් කෝට් බසුන්නැහේ කෙනෙක්' ඈ කීවාය. තරුණියෝ ඒ කතාව අසා අලුත් හුස්මක් ගත්හ. මහා ආත්ම ශක්තියක් තම සිරුරට ඇතුළු වෙනවාක් මෙන් ඔවුනට දැනුණි.

නන්දා මාලිනී අද හෙළයේ මහා ගායිකාවකි. ඇගේ මධුර ස්වරයෙන් ගැයෙන ගී මිනිසුන්ගේ සිත් සුවපත් කැරෙන දිව ඔසුවක් වැනිය. ජීවිතය වූ කලී රෝසමල් ඇතිරූ මාවතක් දිගේ වැටී ඇති මාවතක් නොවේ යැයි පසක් කැරෙන ඇගේ ජීවන ගීතය ජීවිතය ජය ගන්නට වෙර දරන ඔබට පරමාදර්ශී කතාවකි. ඒ ලෝකයටම ඇතේතේ එක නන්දා මාලිනියක් වීම නිසාය.

ඈ ගයන්නීය මෙසේ
දහසක් ඉපදී මිය යන ‍පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මම මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි

Nanda Malini
නන්දා මාලනී
උපතඅගෝස්තු 23, 1943
අලුත්ගමශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රි ලාංකික
වෙනත් නම්මිරිහාන ආරච්ච්ගේ නන්දා පෙරේරා, නන්දා මාලනී ගෝකුල, ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය
අධ්‍යාපනයශ්‍රි ගුණානන්ද විද්‍යාලය, ඉන්දියාවේ බාත්ඛන්ඩේ සංගීත විද්‍යා පීඨය
රැකියාවගායනය
ආගමබෞද්ධ
කලත්‍රයාසුනෙත් ගෝකුල
දරුවෝවරුණි සරෝජා, අමා සරදා

මේ ලිපිය පල වී තිබුනේ 2012 ජනවාරි 12 වෙනි බ්‍රහස්පතින්දා ලක්බිම පුවත්පතේ,ලිපිය මිහිරි ෆොන්සේකාගේ,නිහතමානීකම පිලිබදව මෙම ලිපියන් දෙන ආදර්ශය නිසා පල කලා